දන්න ගීතයක නොදන්න කතාව..

 විදුලි මිණි පහන් දැවී.....




විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ...

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...//

එන්න කන්න බොන්න මිහිරේ
ඔබටයි මේ ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//

පුරාගෙන පිරූ හිතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි
සොඳුරේ මැදුරු දොර දිහා...

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා....

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී......

ගායනය = ගුණදාස කපුගේ
පද රචනය = ලූෂන් බුලත්සිංහල
සංගීතය = unknown 
  
                    මේ ගීතය ලිවීම සඳහා ලූෂන් බුලත්සිංහල මහතා යොදා ගෙන ඇති මූලික නිමිත්ත ලෙස අනුමාන කළ හැක්කේ මහගමසේකර කලාකරුවාගේ ප්‍රබුද්ධ නම් කාව්‍ය සංග්‍රහය හැඳින්විය හැක.මෙහි සඳහන් කර ඇති ආකාරයට ප්‍රබුද්ධ කියන්නේ දුප්පත්,අහිංසක කලා කරුවෙක්.නමුත් ඔහු ප්‍රේම කරන්නෙ ඉතාම ධනවත් පවුලක තරුණියකටයි.ඇයගේ නම යශෝධා නම් වේ.දිනක් ඇය ඇගේ උපන්දින සාදයට මොහුට ආරාධනා කරනු ලබයි.සේකරයන් ප්‍රබුද්ධ යශෝධාගේ මන්දිරයට ඇතුළු වෙන තැන සිට ඔහුට ඇස ගැටෙන දේ විස්තර කරනු ලබයි.මුලින්ම ඇතුල් වෙද්දි මොහුට ඇස ගැටෙන්නෙ යශෝධාගේ පියාගේ යාලුවෙකි.ඔහු ඒ මිනිසා ගැන මෙසේ විස්තර කරයි.
                     
             " සිටී ඕ විසිත්ත කාමරයේ කළු කබා ඇඳ තරබාරු බඩ මහත ප්‍රභූවරු , සංස්ථා නිළධාරීන් හා පෙරකදෝරුවෝ...පීරා කෙස් ගෙනත් තට්ටය යන්තමින් වසා ගත්හ."
                                යන්න මොහු මේ පුද්ගලයා  පිළිබඳ සඳහන් කරයි.එසේම ඔහු එහි සිටින අරුමොසම් වලින් පිරුණු ගැහැනුන් පිළිබඳ මෙසේ සඳහන් කරයි.

                              "සිටි ඕ මෝරපු ගැහැණු බැන්ද උස් කොන්ඩා උල්දෙතොල් නිය ඇති, බලමින් නෙත් කොනින් ගෞරවයෙන් මැකෙන රූ සිරියට මුක්කු ගසයි."
              මෙවැනි දේ බලමින් ප්‍රබුද්ධ යශෝධා සමගින් උඩු මහලට නඟියි.
                "නැග්ගේය ඔහු යශෝධා සමග උඩු මහලට යෝධයන් වූ අතර අඟුටු මිට්ටෙක් සේ,නන්නාදුනන දුරු රටක අතරමං වූ සේ,එහෙත් මම ද මොවුන්ගේම එකෙක්මී මොහොතකට සිතුනි."
                      ඔහු යශෝධා සමඟ තව තට්ටුවක් නගින විට යශෝධාගේ මන්දිරයේ ජනේලයෙන් පෙනෙන්නේ මුඩුක්කු නිවාසයි.පකිස් පෙට්ටි සේ වහල වලට ටකරං යොදා ටයර් දමා ඇති මුඩුක්කු නිවාස ඔහුට පෙනෙයි .ප්‍රබුද්ධ අයිති වන්නේ වන්නේ ඒ සමාජයට ය.එහෙත් ඔහු අද දකින්නේ, කනබොන,විනෝද වෙන ලොකු සාදයකි.එහෙත් ඔහුට ලොකු කළකිරීමක් ඇත.එම කලකිරීම මුල් කරගනිමින් ලූෂන් මෙම ගීතය නිර්මාණය කර ඇත.

                     විදුලි මිණි පහන් දැවී 
                     බොළඳ ගී සිනා රැළී
                      නිලංකාර අඳුරේ සිරවී 
                       සැඳෑ සාදයේ ....
              
                       කුරා කුහුඹු මිනිසා වෙමි මා 
                                     ඔබේ මන්දිරේ ...

                  විවිධ වර්ණය ආලෝකයන් දිස්වේ.එසේම ගැහැනුන් පිරිමින්ගේ සිනහවන් මේ නිලංකාර අඳුරේ දිස්වේ.මෙහිදී සේකර පෙන්වා දුන්නේ මේ විශාල මන්දිරය ඇතුළේ ඔහු කුඩා කූඹියෙකු ලෙසයි.එමගින් ඔහු පෙන්වීමට උත්සාහ කරනු ලබන්නේ ඇති නැති පරතරයි.දුප්පත් පොහොසත් භේදය පිළිබඳවයි.
     
                  එන්න කන්න බොන්න මිහිරේ
                  සැමටයි ආරාධනා
                               ඔබේ හඬ කිඳී සිඳී යයි
             කතා සරිත් සාගරේ.....

                         මෙහිදී රචකයාගේ ආදරවන්තිය ඇයගේ සාදයට සහභාගී වූ සියලුම දෙනාට කන්න බොන්න  එන්නැයි ආරාධනා කරනු ලබයි.මෙහිදී සාදයට සහභාගි වූ සුවහසක් දෙනාගේ කටහඬවල් අභිබවා තමා තමා ආදරවන්තියගේ කටහඬ මොහුට ඇසෙයි.ඇය සියලුම දෙනාට ම පිළියෙල කළ භෝජන සංග්‍රහය භුක්ති විඳින ලෙස ආරාධනා කරයි.මෙහිදී, පොහොසතුන් කන බොන ආකාරය,කන බොන ආහාර පිළිබඳ කියවෙයි.ප්‍රබුද්ධ නම් පොතෙහි මෙසේ සඳහන් වේ.එනම්, 
                   
                  "බඩ තඩි මහත පිරිමි සෙම බරිත තඩි ගැහැණු කය පුබුදු වී අවුල් අවුත් මස සසල කර නටත්,බල්ලෝ මරලා හරි සල්ලි හොයාලා ඉන්න ටිකේ ඉමු ජොලිය දමාලා.

                 මෙමගින් පැහැදිලි වෙන්නේ, පොහොසත් මිනිසුන් කමින් බොමින් විනෝද වන ආකාරයයි.ඒ වගේම  බල්ලෝ මරලා හරි සල්ලි හොයලා කාල බීල විනෝදයෙන් සිටින මාන්නක්කාර හා ධනවත් මිනිසුන් ගැන මෙමගින් මෙමඟින් පැහැදිලි වේ.අද සමාජයේ ජීවත්වන මිනිසුන් බොහෝමයක් ජීවත් වන්නේ අද ගැන පමණක් සිතා ය.ඒ වගේම, හොඳ දේට වඩා නරක දෙයින් ජීවත්වන මිනිසුන් අද බොහෝ ඇත.මහගමසේකරයන් දක්වා ඇති මෙම " බල්ලො මරලා හරි සල්ලි හොයාලා" කියන මෙයින් අපට හොඳින් පැහැදිලිවේ.
 
                      පුරාගෙන පීරු හිතේ 
                         විසුළු කෙලි නැටුම් සිනා
                     යොමා ඇස බලන් යලි
                                     සොඳුරේ මැදුරු දොර දිහා....

                         සාදයකදී සියලු දෙනා විනෝද වේ.මත්පැන් පානය කරමින් සියලු දෙනා විනෝද වේ.නටමින් ගයමින් විනෝද වේ.නමුත් මේ මැදුරු දොරෙන් එහා ඇත්තේ දුප්පත් මිනිසුන් වෙසෙන මුඩුක්කු නිවාස සංකීර්ණයයි.එහිදී තම පෙම්වතියට ඔහු පවසන්නේ මේ ධනවත් ලෝකේ දිහා නොව මේ මැදුරු දොරෙන් එහා ඇති ලෝකය දිහා බලන්නැයි කියාය.මෙයින් නැටුම් කෙළි දෙස නොව මේ මැදුර දොරෙන් එහා ලෝකය කොතරම් වෙනස් ද යැයි ඔහු මෙහිදී මනාව පැහැදිලි කරයි.

            
                           දෙන්න කන්න බොන්න නොකියා
                            දෙනෙතින් ආරාධනා
                            දෑත පා ඉඳුල් යදී ඇස්
                             ගයා හංස ගීතිකා.....


           මේ මුඩුක්කු වල ජීවත් වන්නේ ඉතා දුප්පත් මිනිසුන් ය.එදා වේල හොයා ගනිමින් ජීවත් ජීවත් වන මිනිසුන් ය.හිඟන්නන්,කුලී වැඩ කරන්නන් වැනි මිනිසුන් මේවායේ ජීවත් වේ.මේ මිනිසුන් කටින් කන්න බොන්න දෙන්නයි දෙන්නැයි ඉල්ලන්නේ නැත.ඔවුන් තමන්ගේ දෙනෙතින් ඉල්ලයි.මෙහි ජීවත් වෙන මිනිසුන් මිනිස්සුන්ට එදා වෙන්න හොයාගන්න බැරිවුනු විට ඔවුන් අන්ත අසරණ වෙයි.නමුත් පොහොසත් මිනිසුන්ට එසේ නොවේ.හංසයන් ගීත ගයන්නේ මැරෙන්න ආසන්නයේදීය.එසේම මෙම සිඟන්නන්ද දෑත දිගු කර ඉල්ලන්නේ ඉඳුල් හෝ ඔවුන්ගේ ආහාරය සඳහා ය.
  
                    ඔබේ මන්දිරෙන් එහා
                    මගේ ලොව බලා හිඳී 
                    පළා යයි ඔබේ ලොවෙන් මා
                    දෙපා සමු නොදී....

              
මේ තිබෙන්නේ ඔබගේ ලෝකයයි.නමුත් මේ ජනේලෙන් එහා තිබෙන්නේ මගේ ලෝකය.මෙසේ ඔහු තම ආදරවන්තියට පවසයි.කොපමණ වුවත් තමා අයිති සමාජය ඔහුට අමතක කළ නොහැකිය.එක අතකින් ඔහුට ඔහුගේ ලෝකය උතුම් යැයි ද යයිද සිතෙන්නට ඇත.මේ අරුමෝසම් වලින් පිරුණු ලෝකයට වඩා තමාගේ සරල ලෝකය ඔහුට දාහකින් සම්පත යැයි ඔහුට සිතෙන්නට ඇත.එසේම ඔහුට ඒ ඩී සිතුනේ කාටවත් නොකියා එතැනින් පිටවීමටයි.එහිදී, ඔහු එක්තරා අයුරකින් ආත්ම ශක්තියක් ඇති තරුණයෙක් ලෙස හැඳින්විය හැකිය.තමාට නොගැළපෙන තැනින් ඉවත් වී යාමට ඔහු දෙවරක් සිතන්නේ නැත.

                       අද සමාජයේ බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ මිල මුදල් ඇත්නම් ඇත්නම් එතැනටම හේතු වී සිටීමයි.අද සමාජයේ සිටින බොහෝ පුද්ගලයන් එවැනි පුද්ගලයන් ය..නමුත් මෙහි සිටින තරුණයා  එවැනි පුද්ගලයෙක් නොවේ.නමුත් අද එවැනි තරුණයන් තරුණියන් බොහෝ විරලය.නමුත් එවැනි තරුණ තරුණියන්ද  අද සමාජයේ නැතුවාම නොවේ.
             



















Comments

  1. ජීවිතේ විදින එක පැතිකඩක් ගීතය

    ReplyDelete
  2. අගනා විචාරයක්

    ReplyDelete
  3. ශාස්ත්‍රීය සංකථනයක අවශ්‍යතාවය එදාට වඩා අදට උවමනා වී තිබේ.සාහිත්‍යයේ ඇති විශේෂතාවය නම් එය පුද්ගලයාගෙ රසඥතාවයට සහ අනුභූතීන්ට අනුව විචාරය කිරීමේ හැකියාවයි.මේ ප්‍රයත්නය ඔබේ ගමනේ සුභ ආරම්භය බවට පත්වේවා!!!තෙරුවන් සරණයි !!!පොඩි හාමුදුරුවෝ(පොඩි අයියා )

    ReplyDelete
  4. පලා යයි ඔබේ ලොවින් මා දෙපා සමු නොදී කියන්නේ, එයා එතන හිටියාට එයාගේ හිත එයගේ ලොව වෙත පලා ගිහින් බව නේ ද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....