සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

 කුමරියක පා සළඹ සැලුණා....



ගායනය = W.D. අමරදේව
සංගීතය = වික්ටර් රත්නායක 
පද රචනය = කේ.ඩී.කේ.ධර්මවර්ධන


කුමරියක පා සලඹ සැලුණා 
වසා සිටි නෙතු පියන් ඇරුණා 
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන බිඳුනා.....

කුමරියක පා සලඹ සැලුණා....

උකුළ ලැමහස මලවි කරළිය
මුවා කළ ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය ...

කුමරියක පා සලඹ සැලුණා....

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල්පෙති
මා හඬවයි බිඳුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය....

කුමරියක පා සළඹ සැලුණා....


                             කේ.ඩී.කේ.ධර්මවර්ධනයන් විසින් රචනා කළ මේ ගීතය ගායනා කරනු ලබන්න්නනේ මහා ගාන්ධර්වයානන් වන W.D. අමරදේව ශූරීන්ය.ධර්මවර්ධනයන් මෙම ගීතය ලියූවේ ඉතාමත් අලංකාර භාෂාවකින්.ඔහු ස්ත්‍රී ලාලිත්‍ය අමු අමුවේ නොකියමින් ව්‍යංගාර්තයෙන් පෙන්වා ඇත.මේ ගීතය බැලූ බැල්මෙන් ඉතාමත් ශෘංගාරාත්මක ගීතයක් බව අපට පෙනේ.ශෘංගාරය යනු භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වන රස නිෂ්පත්තයේ දක්වා ඇති රස නවයෙන් එක් රසයකි.ධර්මවර්ධනයන් මෙම රසය මැනවින් මේ ගීතය තුළින් උලුප්පුවා දක්වා ඇත.ශෘංගාරය,ස්ත්‍රී ලාලිත්‍ය කියන දේ වනචාරී ආකාරයෙන් නොව මනුෂ්‍යයෙකු ලෙස සිටිමින් මොහු නිර්මාණය කර ඇත.රතිය කියන දේ උණු වතුරනම් සාහිත්‍ය කියන ඇල් වතුරෙන් මිශ්‍ර කළ යුතුයි.එවිටයි ඒ කවිය හෝ ගීතය තවත් රසවත් වෙන්නෙ.
                                   මේ ගීතයට පාදක වී ඇත්තේ තපසට නැඹුරු වුණු තරුණයෙක් නාටිකාංගනාවකගේ රංගනය දැක ඔහුගේ දැහැන බිඳුණු ආකාරය පිළිබඳවයි.ඈත අතීතයේ වන වාසයේ සිටි භාවනා කරන තාපසවරුන් උදෑසන අවදි වුණු විට දකිනවා නාරිලතා මල්.මේ මල ස්ත්‍රීයකගේ හැඩය ගනී.මේ මල දකින තාපසවරයන්ගේ තපස බිඳී යයි. 

කුමරියක පා සලඹ සැලුණා 
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන බිඳුණා....

  
                    මෙයින් අදහස් වෙන්නෙ කුමරියක් වන් නාටිකාංගනාව පාදය තබනවිට සෙලවෙන පාද සලඹේ හඬට මේ කුමර බඹසර රකින තරුණයාගේ වසා සිටි දෑස් විවර වෙන්වා...මෙතැන ඇස් ඇරෙනවා කියනවට වඩා වෙනත් අරුතක් ඇත.නාටිකාංගනාවගේ රැඟුම් හා ඇයගේ සිරුර දැකීම මඟින් ඔහු මෙතෙක් කාලයක් රකිමින් සිටි සීලය,තපස එකවර බිඳී යන බවයි.විසූක දස්සන මාලා කියන ස්ථීර අධිෂ්ඨානයකින් සිටි පුද්ගලයාගේ දැහැන බිඳුණු බව හඟවයි.කුමර බඹසර යන්නෙහි අර්ථය වන්නේ යම් පුරුෂයෙක් ස්ත්‍රීන්ට ලොල් නොවී ඉන්නවානම් එය කුමර බඹසර නම් වේ...යම් ස්ත්‍රියක් පුරුෂයන්ට ලොල් නොවී සිටිනවානම් එය කුමරි බඹසර වේ.එසේ සිටි මෙම තරුණයාගේ දැහැන බිඳී යන්නට විය.ජාතක කතාවක් වන ස්වර්ණතිලකා කතා වස්තුවේ එන උද්දාල බමුණා ස්ත්‍රීන්ට ලොල් නොවුණු තාපසයෙකි.ඔහු ස්ත්‍රීන් දුටු විට කිරි වලින් ඇස් සෝදයි.එතරම් ඔහු කුමර බඹසර රැකි තාපසයෙකි.නමුත් අවසානයේදී ඔහුම ස්වර්ණතිලකට ලොල් විය.එතරම් ස්ත්‍රී ලාලිත්‍ය ප්‍රබල වන බව එමඟින් මනාව පැහැදිලි වේ.

උකුල ලැමහස මලවි කරළිය
මුවා කළ ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා බියයස මැවුණු තුසිතය
සුරන් නැලවූ සුයාමය


                                       මේ තරුණයා මෙම සුරූපිනියගේ සිරුර දකියි.සිරුර දකින මෙම තරුණයාගේ කෙලෙස් වැඩි වෙනවා.උකුල,රන හංසයන් වන් වූ පයෝධරයින් හා අනංගයාගේ වේදිකාව එනම් ස්ත්‍රීන්ගේ අතිශය පෞද්ගලික ස්ථානය එනම් ස්ත්‍රී නිමිත්ත කියන මේ සියල්ලම මොහු දකියි.එමඟින් මනස කියන සල්ලාලයා වේදිකාව විවෘත කරයි.උමතු වුණු ඇස නැමැති ලණු වලින් මැයගේ දුහුල් සළුව විවර කරයි.මේ සියල්ල දකින තරුණයාට එක නිමේෂයකින් තව්තිසා දිව්‍ය ලෝකය සිහිවන්නට විය.තව්තිසාව කියන්නෙ දිව්‍ය ලෝක 6 අතුරෙන් රතිය කියන දේ උපරිමයෙන්ම ඇති තැනකි.මේ තරුණයාට මේ සුරූපිනියගේ දේහය ඇකීමෙන් සිහි වූයේ හොඳම දිව්‍ය ලෝකයකි.එයත් සිහි වූයේ හොඳම වෙලාවකයි.එනම් සුයාමය යනු (සු+යාමය) සු යනු සිංහල උපසර්ගයකි.එමගින් වචනයක අර්ථය තවත් වැඩි කරයි.එනම් සුයාමය යනු සුරයන්ගේ යාමයයි.එමඟින් ස්ත්‍රී ලාලිත්‍ය තුසිතයට සමාන කර ඇත.

                              අද වර්තමානය වන විට මෙම ශෘංගාරය කියන්නා වූ දෙය හාස්‍යය උපද්දවන අන්දමින් දක්වයි.නමුත් එහි නියම රසයක් දක්නට නැත.එහි ඇත්තේ නිකම් පුස්සකි.පී.බී.අල්විස් කවියා ස්ත්‍රී ලාලිත්‍ය මෙසේ දක්වයි.

"සමන්මලීගේ පියයුරු දැක නැවත හැරී
තබන්නෙමි අලුත් වුව මම කෝමහරී
පැලෙන්නට ඉතා ලංවූ හුළං පිරී
ජපන් බැලුන් යුවලක් ඇරුණුවෙද සරී...."

                                  මේ කවිය තුළ ශෘංගාරය කියන දේ හාස්‍ය ආකාරයෙන්  දක්වයි.


නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරං නැළවූ සුයාම

නමුත් මොහු බුද්ධිමත් තරුණයෙකි.එක් සැනයකින් ඔහුට සිදුවුණු දේ පිළිබඳ ඔහු කම්පාවට පත් විය.දුක් වන්නට විය.සරලව,නිස්කලංකව සිටි මම, මගේ හැඟීම් නැමැති ඇත්තු දම්වැල් බිඳ ගනිමින් ඔහු සිතතුළ දලුලා වැඩෙමින් තිබූ තුරුවැල්,ලපටි මල් පෙති මේ සියල්ල එක සැනයකින් හැඟුම් නම් වූ ඇතුන් තලා පෙලා විනාශ කර දමයි. "මොකක්ද මේ මට වුණේ" යැයි ඔහු සිතයි.ඒත් සමඟම ඔහු පෙර මවා ගත් තුසිතය එසැනින් කඩා බිඳ වැටෙයි.

                            මොහු එක්තරා ආකාරයක බුද්ධිමත් තරුණයෙකි.බොහෝ තරුණ තරුණියන් ජීවත් වන්නේ මවා ගත් දිව්‍ය ලෝකවලයි.එමනිසා ඔවුන් නිතරම රතිය කියන්නාවූ දෙයින් අන්ධ වී සිටිති.අවසානයේ ඔවුන් එමඟින් විනාශ වී යනාතෙක් ඔවුන්ද නොදනී.නමුත් මේ ගීතයේ සිටින තරුණයා තමන්ගේතමන්ගේ ආශාවන්ට ඉඩ දුන්නේ නැත.ඔහු එක් මොහොතක තමන්ගෙ හැඟීම් නිසා නරකට යොමු වුණත් ඔහුගේ බුද්ධිය නිසා ඔහු නැවත පියවි සිහියට එළඹිණි.සිදුහත් තාපසයානන් බවුන් වඩනා කාලයේදී මෙලෙස මාර දූවරුන් සිදුහත් තාපසයන් ඉදිරියේ  විවිධ ආකාරයෙන් රංගනයන් දැක්වූවත් සිදුහත් කුමරුන් තමන්ගේ දැහැන බිඳ ගත්තේ නැත.එලෙස මේ තරුණයාද පියවි සිහියට පැමිණියේය.මෙලෙස මේවාට හසුවන්නන්ට සිදු වන්නෙ ගිනිදැල්ලට හසුවන පළගැටියාට අත්වන ඉරණමයි.ප්‍රේමය යනු ආශ්වාදජනක හැඟීමකි.ප්‍රේමය තුළ එකිනෙකා කිසිවක් නොඉල්ලූවත් ඔවුනොවුන් යම් යම් දේ බලාපොරොත්තු වෙයි.එය ධර්මයට පවා වැළැක්විය නොහැක.එමනිසා බොහෝ දෙනා මේ ගීතය ගැඹුරින් නොබලා මතුපිටින් පමණක් නිරීක්ෂණය කරමින් සංසාර්ගිකව යෙදෙනු ඇත.එය මා සිතන අයුරින් ලෞකික සැපයන් සොයන,පෘතග්ජන මිනිසුන් අතර ඇති පොදු ස්වභාවයක් ලෙසයි.

Comments

Post a Comment

Popular posts from this blog

සුරකිමු දරුවන්....